Pages

Wednesday, September 4, 2019

තරහක් නෑ තුති මට පෙම් බැන්දාට
වෙන දා සෙනසුරාදා දවසේ චායාලගේ  නිවසින් පැමිණෙන සද්ද බද්ද අද නැත. ගෙදර මිනිසුන්ගේ නැතත් චායා බලන්නට සුපුරුදු ලෙසම සති අන්තයේ පැමිණෙන මනමාලයෙක් හා ඔහුගේ පවුලේ උදවිය ගේ පැමිණීම හේතුවෙන් ඇතිවන කලබලකාරී කසුකුසුවක් හෝ අද  ඇසෙන්නට නැත.  වෙනදා උදෑසන 7 වන විට ඡායා ගේ  තාත්තා විසින් මිදුල් අතුගා දමන්නේ  පන්සල් බිම අතුගා දමනවාටත් වඩා උනන්දුවෙනි. නමුත් දැන් වෙලාව 10 පසුවී තිබුණත් වෙනදාටත් වඩා හැඩිවුනු මිදුල තවම සුපුරුදු ඉදල් පහරවල් නොලැබීමේ වේදනාවෙන් ඔහේ බලා සිටී.  කෙටියෙන්ම පවසතොත් අද ඡායා ගේ සුරතල් බල්ලා පවා වගේ වගක් නැති ලෙසින් අහක බලා සිටී.
''ගිය සතියේ ආපු මනමාලයා චායා ට හරි යන්න ඇති. අනේ ඇති යාන්තම්. ඒ ළමයටත් යන කලදසාවක් තියෙන්න එපැයි.''
චායාගෙ මවටත් වඩා චායා ට විවාහයක් හරි නොයෑම ගැන කනස්සලු වූ අපේ අම්මා මේ නිහැඬියාවෙන් ලබාගත් අවබෝධයෙන් යම්තාක් සතුටක් ලබා ඇති බව හැඟුනි. කෙසේ වෙතත් මේ නිහැඬියාව මටනම් මහත් ප්‍රහේලිකාවක් බවට පත්වී ඇත. එබැවින්  චායාගේ නිවස දෙසට ඇවිද යන්නට මට සිත් විය.
චායා මට වඩා වසර 2 කින් පමණ බාලයි. ඇය වර්ණයෙන් කළු යුවතියක් වූ නමුත් සිනාසෙන කොට  යම්කිසි සිරියාවන්ත බවක් ඈ කෙරෙන් දිස් වන බවක් මට අනන්ත වාරයක් සිතී ඇත.නමුත් ඇය කළු වීම නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද තිස් විය ඉක්ම වුවත් ඇය තවමත් තනිකඩය. මුලින් ඇය  කුමක් සිදු වුවද සතුටින් සිටි යුවතියක් වුවද  වයසින් වැඩිමහලූ වීමත් විවාහ වීම ප්‍රමාද වීමත් සමග ඇය මදක් කනස්සල්ලෙන් කල් ගෙවන බවක් මට දැනී තිබුණි.කෙටියෙන්ම  පවසතොත් මීට අවුරුදු දෙකකට ඉහතදී මගේ  විවාහය සිදුවීමත් සමගම ඇගේත් මගේත් ආශ්‍රය පවා යම් තාක් දුරකට දුරස් වූ බව සිතුනු වාර අනන්තය.
මම  චායා ගේ නිවසට ඇතුල්වන විට චායාගේ මව බලාගත් අත බලා සිටී.පියා සාලයේ එහාටත් මෙහාටත් ඇවිද්දේ පියවර ගණන් කරනවා හා සමාන සෙමිනි. පෙරදා මා පැමිණි විට සතුටින් පිළිගන්නා  නැගණිය පවා අද මා අසලට පැමිණියේ ආයාසයෙන් නගාගත්  සිනහවක් සමගිනි.
''මොකද නංගිඅද කිසිම සද්දයක් නැති නිසා මං බැලුවේ මොකුත් කරදරයක්ද කියලා.''
චායාගේ නැගණිය මා අතින් අල්ලාගෙන ආලින්දයේ  කෙළවර දෙසට ඇවිද  ගියා ය. ඇය විසිවන  වියේ පසුවන්නියක් වන අතර සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින්නියකි. ඇය චායා තරම් කළු   යුවතියක් නොවන අතර මනා පැහැයකින්  හෙබි යුවතියකි.
''බලන්නකෝ අක්කේ... මාර වැඩේනේ නේ''
ඇය හඬ බාල කරමින් කතාව ඇරඹීය. 
''ඊයේ හවස අපේ ගෙදර පොඩි වතුර  ලීක් එකක් වෙලා. අපේ අක්කා ගෙදර එද්දි වතුර තිබ්බේ නෑ.  අක්කා නාගන්න ඕන  කිය ලා අක්කර පහ වත්තෙ  ළිඳට යන්න හැදුවේ. අම්මා කෑ ගැහුවා ඒත් යන්න එපා කියලා.
''ඉතින්..''
''අක්කගේ තනියට මටත් යන්න කිව්වා.  මං පොඩි වැඩක හිටපු නිසා අක්කා කිව්වා එන්න ඕනේ නෑ කියලා. හුරු නැති දිහාකුත්  නෙමේනේ කියලා.කොහොම  හරි 7 පහු වෙනකනුත් අක්කා ආවෙ නෑ. බලන් ඉඳලා බැරිම තැන මමයි තාත්තයි ගියා ළිඳට.''
කතාවේ උනන්දුව වැඩි වී මමත් නංගි දෙස බලාගෙනම සිටියෙමි .

''ඊට පස්සේ..''
''මමයි තාත්තයි යද්දි වෙනදා තිබ්බ පාරේ ලයිට් එළියත් තිබ්බෙ නෑ අක්කේ.මට නම් හොදටම බය හිතුනා. යද්දි බැලින්නම් අක්කා ලිදලග වැටිලාඉන්නවා. ඇමං තාත්තටයි හීන් දාඩිය දැම්මා අක්කේ අපි හිතුවා වැටිලා අතක්. පයක් කැඩිලා කියලා.''
''දෙයියනේ... ඉතින්..''
මදින මද මගේ සිතටත් බය හා කුකුස මෝදු වන්නට පටන් ගැනුණි.
''අපි යද්දිත් සිහිය තිබ්බේ නෑ අක්කේ. මම ඊට පස්සේ වතුර ටිකක් ගෑවා මූනේ... එතකොට නම් යන්තම් සිහිය ආවා. ඒත් අපි කතා කළාට කතා කරන්නේ නෑ. ටික වෙලාවකින් බයවෙලා වගේ බලන් හිටියා අපි දෙන්නා දිහා .පස්සේ මං හිතන්නේ අපි දෙන්නව අඳුරගත්තා.ඒත් අහන දේකට ඔලුව හොලවනවා විතරයි.කිසිදේකට කටින් උත්තරයක් දෙන්නෙ නෑ.''
'' අතපයේ මුකුත් තුවාල තියෙනවද?''
''වැටුණ පාරට ද කොහෙද දනිස්ස පොඩ්ඩක් තුවාල වෙලා. එච්චර තමයි. වෙන මුකුත් අවුලක් නෑ. ඒත් තාමත්  කන්නෙත් නෑබොන්නෙත් නෑබලාගත්ත අතේ බලාගෙන ඉන්නවා.  ඇහුවට කිසි දෙයක් කියන්නේ නෑ.''
අපේ කතාව මදකට නැවතුනේ  චායාගේ පියා සරමට උඩින් කමිසයක් අඳිමින් අප අසලට පැමිණි හේතුවෙනි.
''පොඩි දුවේ මං  අර කරුණාදාස ගුරුන්නාන්සේ හම්බවෙලා එන්නම්. මොකද කරන්නේ කියලා උපදෙසක් අරගෙන.''
''මොකද මාමේ මේ එක පාරටම වුණේ ?''
''අනේ මන්දා දරුවෝ.. මටත් හිතාගන්න බැරුව ඉන්නේ.. වෙච්ච් දෙයක් දන්නෙත් නෑ.ඉස්පිරිතාලෙකට  ගෙනියන්න කියලා තුවාලයක් බුවාලයක් වෙලත් නෑ.'' 
චායාගේ පියා පාර දෙසම බලාගෙන සිහින් හඬින් කතා කළේය. අනතුරුව යතුරු පැදිය පණ ගන්වාගෙන යන්නට ගියේය.
'' ඉන්න අක්කේ මම තේ එකක් හදාගෙන එන්නම්.'' 
චායාගේ නැගණිය මා අසලින් නැගිට කුස්සියට යන්නට සැරසුනාය.
''තේ එපා නංගී. මේ කරදර අස්සෙ මොන තේ ද?  යන්කො අම්මා ළඟට. ''
මමත් ඇය සමග නැගිට සාලය දෙසට ඇවිද ගියාය. චායාගේ මව හුන් ඉරියව්වෙන්ම කඳුළු සලමින් සිටි.  මම ඇය අසලින් අසුන් ගත්තෙමි. 
''බලන්නකෝ පුතේ වෙච්චි දෙයක්. තියෙන කරදර මදිවට දමං කිව්වා ඒත් තනිපන්ගලමේ ඔය ගොම්මන් වෙලාවේ යන්න එපා කියලා. කොහෙද දරුවෝ දැන් මේ ළමයා අපි කියන දෙයක් අහන්නත් නෑනේ...''
චායාගේ මවගේ මුහුණින් විඩාපත් ලකුණු දිස්වෙයි. කාලයක් තිස්සේ ගතින් නොව සිතින් ලෙඩ වීම හේතුවෙන් ඇය පෙර සිටියාටත් වඩා මහලු වී ඇති බවක් සිතෙයි.
''බය නොවී ඉන්නකෝ නැන්දේ. දැන් මාමත් ගියා නේ කරුණාදාස ගුරුන්නාන්සේ එක්කන් එන්න කියලා.''
‍‍ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන මා තුළ වැඩි විශ්වාසයක් නොමැති වුවද මේ මොහොතේ හැටියට ඔවුන්ගේ සිත් සැනසීමට දිය හැකි වෙන පිළිතුරක් මා  සිතට නොනැගෙන හෙයින් මම වැඩි යමක් කියන්නට නොගියෙමි.
''කළු කුමාර  දිෂ්ටියද දන්නෙත් නෑ පුතේ. කල වයසෙදි දීගෙයක් හරි ගියෙත් නෑ. මගේ නම් ඔලුවත් එක්ක ගිනි අරන් ඉන්නෙ පුතේ... කොහෙද මේ දරුවා වචනයක්වත් කතා කරන්නෙත් නෑ. ඔහේ බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා මිසක්.''
මට චායාව බලන්නට යන්නට සිතුනි. සමහරවිට ඇය මා සමග කිසිවක් පවසා වී යන විශ්වාසයක් මා තුළ තිබෙන්නට ඇති.එබැවින් මම චායා ගේ කාමරයේ දොර රෙද්ද මෑත් කර ඇගේ ඇඳ දෙස බැලීමි.ඇඳ විට්ටමට පිට්දී ජනේලයෙන් එපිට දෙස  බලාගෙන ඇය කල්පනා කරමින් සිටි. කිසිවකට  බය වූ බවක් හෝ එවැනි කිසිදු හැඟීමක් ඇගේ මුහුණෙන් දිස් නොවීය. මම සෙමින් සෙමින් ගොස් ඇගේ  ඇදෙහි කොනකින් ඉඳගතිමි.  චායා මා දෙස හැරී මොහොතක් බලා සිට සුපුරුදු සිනාවෙන් මට සංග්‍රහ කොට නැවතත් ජනේලයෙන් එපිට බැලුවාය. අහක බලා බලාගෙනම ඇය යමක් මිමිනුවත් එය මට පැහැදිලිවම නො ඇසිනි. තවත් විනාඩි කිහිපයක් මම එතැනම රැඳී සිටියේ ඇය කුමක් හෝ මා සමග පවසාවි යැයි සිතා නමුත් මා අපේක්ෂා භංගත්වයට පත් කරමින් ඇය කිසිවක් නොකීය. අවසානයේදී මා ඇඳෙන් නැගිට එළියට එන්නට සැරසුන විට ඇගේ මේසය මත තිබුණු කොළ  කැබැල්ලක් නෙතට හසුවිය. නිකමට මෙන් එය අතටගෙන කියවන්නට මට සිත් විය. එහි වූයේ චායා ගේ අත් අකුරින් ලියවුනු කවියකි.
ගොම්මන් කළුවරේ ළිඳ ළඟ නාන කොට
හිත ළඟ අමුතු  කිතියෙන් මා සලිත කොට
සිරුරට අරක්ගෙන නැටු  නාඩගම        
තරහක් නෑ තුති මට පෙම් බැන්දා          
මම කවිය දෙසත් චායා ගේ මුහුණ දෙසත් නැවත නැවතත් බැලීමී. චායා සුපුරුදු ලෙසම කලබලයකින් තොරවම ජනේලයෙන්  එපිට නිදහසේ අහස දෙසම බලා සිටියාය.

නිමි.

Friday, July 26, 2019

සුදු මැණිකේ නුඹෙ සිනාව
 මට ගෙනේවි පෙම් ඉනාව
 හිත අද්දර තනි මකන්න
 නුඹ අැති වෙනකෙකු කුමකට....

 හීන හතක් මැදි කර මම සත් මහලක් තැනූවයි
 සදලුතලේ නුඹත් එක්ක පෙම් අම රස බිව්වයි
 මැදියම් රෑ සඳ එළියෙන් තරු මිණි කැට ගැන්නයි
 සීතලේට තුරුල් වෙලා කව් සී පද ගැයුවයි......

 පුන් පෝයට නුඹත් එක්ක කැළණි වෙහෙර වැන්දයි
 දූ පැටියෙක් ලබා ගන්න දේව වරම් යැද්දයි
 සංසාරෙම එකට ඉන්න පාරමි දම් පිරුවයි
 මතු සසරෙත් මගේ වෙයන් සවනට මිමිණූවයි........

                                                                       චමෝ

Thursday, July 11, 2019

පිරිමින් අල්ලේ රේඛා මැකෙන තුරු සුන්දර ගැහැණුන් සොයන අතර ගැහැණුන් හැගීම් වියකෙන තුරු සාර්ථක පිරිමින් සොයයි.... චමෝ

Wednesday, July 10, 2019

අරුත් සුන් වූ පෙම් කතා
ලියා අැති උන් දහක් අතරේ
සොඳුරු පෙම්වත අපේ හැගුමන්
මියනොදේවි කල්ප ගාණක්....

රාගයෙන් තොර අාදරය නම්
පැතුවෙ නෑ අප බොළද හැගුමන්
දනී නුඹ මා එක්වනා තැන
පුළුන් යහමින් අැවිලෙනා වග.....

කාලයට ඉඩ බාර කරදී
තුටින් උණුහුම වැළද ගත්තා
වෙන්වනා දින කොයිම ලෙසවත්
තුරුණු හැගුමට සාප නොකළා.....
                                               

Sunday, July 7, 2019

යදම් බිද විත් නුඹ හෙමින් සැරේ
යහන් තල ගිනි තියා සීරුවට
බලන් හිටියා කිසිත් නොවු ලෙස
සැනෙන් නිම විය වසත් කාලය,
සොවින් බර නුවන් අබියස
දුමින් වලා තිර මවමින
බලන් ඉන්නා අපූරුව,
මිනිස් නොමිනිස් කමක
අරුත් වටහා දුනි මෙමට......
                                        චමෝ


Tuesday, July 2, 2019

           ඇත්තටම රැග් වුනේ කාගෙන්ද.....?

සින්නෝ රැග් කරයි කියලා බයෙන් ආවට
උන් කරපු ඇති දෙයක් නෑ...
මේක අස්සට එද්දි සමාජෙන් රැග් එක කෑවා
අම්බානකටම....
වැඩිපුර ඇහුන වචන සෙට් එක ටික කාලයක් යද්දි ලස්සනටම Normal වුණා....
Assignment ,Presentation ,Viva,Mid exam
මේක අස්සේ දැනුමෙන් සන්නද්ධ එකාටත් C
දැනුම නැති එකාටත් C
ගොට්ටට , දෙකට නැමිල්ලට A
දැන් මේ මුල්ලකට වෙලා කල්පනා කරනවා
මොකාද බං සිරාවටම මාව රැග් කලේ....?

Friday, June 14, 2019

පැල් බැදන් පෙම් බදින පිරිමියෙක්ට ලියමි.

එක වරක් දෙවරක්
සපත්තු අඩි කිහිපයක්
රස අැතිව වළදා
නිවාඩුවක සිටින විට
නුඹ අැවිත් හද දොරට
තට්ටු කර එයි තුලට....

කලින් කෑ රස බොජුන්
කොයිතරම් නීරසද
උගුරුදඬු තව තවත්
මතකෙට නැගූවත්
ඉහලින් ගියත් මොකද
පහලින් ගියත් මොකද
සිතුවිල්ලක් නැතිව
නුඹට දුනි පිළිතුරක්....

මුල් දවස් වල නම්
හරි රහයි පැණි හැලිය
ටික දොහක් යනකොටයි
පැණි වුනත් හරි තිත්ත....

කියන්නම් සත්තයි
නුඹේ නෑ වැරැද්දක්
චාටුවක් නෙමෙයි බං
එ්ක නම් අැත්තක්....
කාපු  කටු හින්දා
මගෙ හිතේ වැරැද්දක්
තවත් බැහැ කරන්නට
උඹට අමු බොරුවක්.....

මග හලා එන විටදි
කිව්වා හෙන පච ගොඩක්
දැන් තමයි තේරෙන්නේ
එ්ක මහ කැත වැඩක්....
කාලයක් ගත වුනත්
උඹ නොයා වෙන අතක්
මටම දැන් නම් හිතෙයි
කන්නට පොළවෙ පස් මිටක්.....

නුඹට දෙවි පිහිටයි
තුනුරුවන් සරණයි
අන්තිමට පතමි මං
මට නම් අබ සරණයි.......
                                               චමෝ

තරහක් නෑ තුති මට පෙම් බැන්දාට වෙන දා සෙනසුරාදා දවසේ චායාලගේ  නිවසින් පැමිණෙන සද්ද බද්ද අද නැත. ගෙදර මිනිසුන්ගේ නැතත් චායා බලන්නට සුපුරුදු...